Monday, August 8, 2011

ත්‍රිමාණ තාක්ෂණය

ත්‍රිමාණ රූප මැවීමේ තාක්‍ෂණය බොහෝ දෙනෙකුට ආගන්තුක ක්ෂේත්‍රයක් වුවද ඒ පිළිඹඳ සංකල්පය 1890 වැනි ඈත අතීතයට දිවෙන්නකි. හුදෙක් සරල සංකල්පයක් ලෙස කරලියට පිවිසි අද වන විට තාක්ෂණිකව විශාල ප්‍රගතියක්‌ අත් කරගෙන ඇත.නමුත් මෙය තවදුරටත්  දියුණු විය යුතු බැව් පිළිගැනේ. එබැවින් මෙම ලිපිය තාක්ෂණයේ දියුණුව පතන එය විඳිනු කැමති  ඔබ වෙනුවෙනි.
උත්තල කාචයක් තුලින් යන ආලෝකය දුෂ්ටි විතානය නම් වූ ආලෝක සංවේදී තිරයක් මත ප්‍රතිබිම්බගත කිරීම  ඇසක සිදුවෙන ක්‍රියාවයි. එය සෑම විටම ද්විමාන රූපයක් මවයි. ඉතින් ඔබ දකින ද්විමාන දර්ශනය තුලින් තුන්වන මානය හෙවත් ගැඹුර අත්වින්දිනුයේ කෙසේද? මේ පිලිඹද අප විමසා බලමු. එක ක්‍රමයක් වන්නේ ඔබට දැක පුරුදු දර්ශනවල අඩංගු වස්තුන්ගේ විශාලත්වය සංසන්දනය කිරීමයි. වස්තුවක් ඈතින් තිබීම එය කුඩාවී පෙනීමට හේතු වේ. මෙය ඇසට ලැබෙන ආලෝකයේ පතන කෝණය කුඩා වීම නිසා සිදුවන්නකි. ඔබගේ හිස ඒ මේ අත හැරවීමද ත්‍රිමාණ බව ඇතිකරන්නකි.මන්ද හිස හැරවීමේදී ලඟින් ඇති වස්තු ඈතින් ඇති වස්තු වලට වඩා ඇසට සාපේක්ෂව වැඩිපුර හැරෙනු ඇත. මුලිකව මෙම ක්‍රම මගින් ඔබේ මනස තුල ගැඹුර පිලිඹද අදහසක් පැන නගී.ද්විමාන චිත්‍රපටයක් නැරඹීමේදී එතරම් අඩුපාඩුවක් අපට නොදැනෙන්නේ එබැවිනි. නමුත් එක සමාන ප්‍රමාණයේ වස්තු දෙකක් කුඩා පරතරයකින් තැබූ විට මෙය එතරම් සාර්ථක නොවනු ඇත.එහි ලා එලිය අඳුර එම වස්තු වලට පතිත වන ආකාරය (light occlusion) මගින්ද අදහසක් ලබාගත හැකිය.   




චීනයේ CCTV ප්‍රධාන ගොඩනැගිල්ල මෙහි දැක්වේ. මෙහි ත්‍රිමාණ බව අවබෝධ කරගැනීමට ඔබ උපයෝගී කර ගනු ලබන්නේ එලිය අඳුර හා ලඟින් හා ඈතින් ඇති වස්තූන්ගේ ලොකු කුඩා බවයි.






නමුත් මින් එහා ගිය වඩා තාත්විකව ත්‍රිමාණ ස්වභාවයක් මවා පෑමේ ක්‍රමවේදයක් ඇස් හා මොලය එක්ව ක්‍රියාවට නංවයි.එහිදී ඔබට වඩාත් ලඟින් පිහිටි වස්තූන් දුර ඇති වස්තූන් පසුබිමේ ඉලිප්පී පෙනීම මගින් ඔබ ඉදිරියේ එක එල්ලේ ඇති වස්තු අතර දුර ප්‍රමාණය පිලිඹද අවබෝධයක් ලබාගැනීමට හැකිය. මෙයට හේතුව වන්නේ ඔබ සතුව අඟල් 2.5 ක් (64mm කට ආසන්නයි) පමණ පරතරයක් සහිතව ඇස් දෙකක් පිහිටා තිබීමයි. එකම දර්ශනයක් දෙසට නාභිගත කරන කල්හි එක් එක් ඇස එය දකින කෝණය හා දුර (පරිණාමය)  එකිනෙකට සුළු වශයෙන් වෙනස්  වනු ඇත. ( Different  Perspective: parallax and offset differences)  මෙම වෙනස්කම් සහිත දර්ශන යුගලය මොලය තුලදී එකිනෙක සම්පාත වී සෑදෙනුයේ ගැඹුර පිලිඹද අදහසක්  ලබාගත හැකිවන සේය. පෙරකී සුළු වෙනස ගැඹුර පිලිඹද මිම්මක් වන බැවිනි. එබැවින් කිසිදු වැරදීමකින් තොරවම ඔබ ඉදිරියේ ඇති යමක් අල්වා ගැනීම සඳහා නිවැරදි දුරකට  දෑත් යොමු කිරීමට ඔබට හැකිය. එලෙසම තම ඉදිරියෙන් පැමිණෙන බෝලයේ නිවැරදි පිහිටීම ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු පිතිකරුවෙකු දනී. ඔහු ඒ අනුව තම පිත්ත හසුරුවනු ලබයි. මෙය අපගේ ඇස මොලය හා ශරීරය අතර ඇති සහසම්බන්ධතාවයයි.
ඉහත සඳහන් ස්වභාවික ක්‍රමවේද සියල්ල ප්‍රතිනිර්මාණය කිරීමට හැකි විනි නම් ද්විමාන තලයක ඇති රූපයක් වුව ත්‍රිමාණව දැකිය හැකිය. මෙම අනුකරණය සඳහා මුලිකව ඇස් දෙකට එකිනෙක වෙනස් කෝන හා දුරක් සහිත දර්ශන දෙකක් වෙන වෙනම ලබාදීම අපහසු කාරණයකි.මන්ද යත් එලිය අඳුර,ලොකු කුඩා බව ආදිය නිතැතින්ම කැමරා කාච මගින් ග්‍රහණය කරගත හැකි වුවද මොලය මගින් කරන දර්ශන සමපාතනය මගින් ත්‍රිමාණකරණයට අදාළ දර්ශන යුගලයක් ග්‍රහණය කර ගැනීමට ඒවා අපොහොසත් වීමය. එය වෙනත් ප්‍රයෝග මගින් සිදුකර ගැනීමට විද්‍යාඥයෝ එකල සිටම උත්සාහ කළහ.අපි දැන් එම ක්‍රමවේද පිලිඹද විමසා බලමු.

1. එකිනෙකට වෙනස් වර්ණ ගැන්වූ උපැස් යුවලක් පැළඳීම. ( Anaglyph 3D)

මෙහිදී අවශ්‍ය කරන වර්ණ තේරීම වැදගත් වේ. ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය වර්තනය වන විට උප වර්ණ 7 කට බෙදී යන බව ඔබ දනී. මෙය Isaac Newton විසින් පළමු වරට ආදර්ශනය කල බැව් කියවේ. එලෙස බෙදා වෙන්කළ වර්ණාවලිය, චක්‍රයක්( Wheel) ලෙස පිළියෙළ කල විට  එහි අඩංගු කිසියම් එක් වර්ණයකට විරුද්ධ පස පිහිටන වර්ණය මුල් වර්ණයට විරුද්ධ යැයි කියනු ලබයි. ( Chromatically opposite colours of the colour wheel) මෙලෙස එකිනෙක විරුද්ධ වර්ණ යුගලයක් සැලකූ විට එහි එක් වර්ණයක් තුලින් අනෙක් වර්ණය පෙරා ඉවත් කල හැකි බව පෙනී ගොස් ඇත. උදාහරණ වශයෙන් රතු/කොළ , රතු/නිල් වඩා සාර්ථකව මෙම කර්තව්‍යය ඉටුකරයි.



Red-Cyan ක්‍රමයට නැරඹිය හැකි වනසේ නිර්මාණය කල රූපයක් හා උපැස් යුවලක්.

එසේ නම් යම් රූප රාමුවක් ත්‍රිමාණකරණයට ඔබින දර්ශන දෙකක්( images with different perspectives) ලෙස වෙනකොට එකක් රතු පැහැයට හරවා අනෙක නිල් හෝ කොළ පැහැයට හරවා, රතු සමග කොළ හෝ නිල් උපැස් සහිත කන්නාඩියක් තුලින් බලු විට අදාල පැහැයෙන් යුතු දර්ශනය පමණක් ඒ ඒ ඇසට ලැබීමෙන් සාර්ථකව ත්‍රිමාණ දර්ශනයක් අත්දැකීමට පුළුවන. 1920,1930 න් ඇරඹි දශකවල ත්‍රිමාණ සිතුවම්,වීඩියෝපට මෙම ක්‍රමය භාවිත කර ඇත.නමුත් මෙහිලා ගැටළු පවතී. සත්‍ය වශයෙන්ම සර්ව සම්පුර්ණ පෙරීමක් සිදු නොවීම එකකි. මෙමගින් එක් ඇසකින් දැකීමට පමණක් යෝග්‍ය රූප කොටස් අනෙක් ඇසින්ද දැකීමෙන් අභව්‍ය සෙවනැලි සමස්ත රුපය මතම හටගනී. ත්‍රිමාණ තාක්ෂණ ව්‍යවහාරයේදී මේ දර්ශන ghosts ලෙස හඳුන්වනු ලබයි.
මේ පිලිඹද වැඩිදුර තොරතුරු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.